ස්වරාගී | Swaragee

“ඔයා කැමතිනම් මට කියන්න.. ඒ කවුද ස්වරාගී..?”

වේද් ඇසුවේ උගුරෙනි.. යුවතිය ඔහු දෙස මොහොතක් බලා උන්නාය..

“ස්වරාගී..”

පළමු වතාවට ඒ නමින් ඇයව ඇමතුවේ ඔහුය. අනෙක් සියල්ලන්ටම ඇය “මන්දීශ්වර්” ය. නොඑසේනම් “මන්දි”ය. කලාතුරකින් කෙනෙකු ඇයව රංගිලා ලෙස ඇමතුවද, “ස්වරාගී” ලෙස නම් මෙතෙක් කාලෙකට කිසිවෙකු අමතා නැත. යුවතියගේ දෑස කදුළින් පිරි ගීයේ නිරායාසයෙනි.

“ඒ ඔයා සර්.. ශවේදී සත්සර මුදලිගේ..”

එලෙස පැවසූ යුවතිය තවත් මොහොතක් හෝ එතැන නොරැඳී පිටව ගියාය. වේද් එහෙමම සිය අසුනට හේත්තුව දෑස පියාගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය / Parlimenthu manthriwarunge karyabaraya

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිම තුළ කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනයට යොමුවීම ප්‍රශංසනීය වේ. මැතිවරණයට ඉදිරි පත් වීමේ දී මන්ත්‍රීධුර අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පිළිබඳව කෘතිය තුළ සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය පිළිබඳ උනන්දුවක් දක්වන දේශපාලන විද්‍යාව හදාරන සිසු සිසුවියන්ගේ දැනුම, අවබෝධය පුළුල් කිරීමට මෙම කෘතිය ඉවහල් වේ. එසේම දේශ පාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පුරවැසියන්ට ද ප්‍රයෝජනවත් වන කෘතියකි. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ කාර්යභාරය සෝදා පාළු වන අවධියක මෙම කෘතියෙන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ දැනගැනීම ප්‍රයෝජනවත්ය.

මෙහි කතුවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අතුල ප්‍රේමරත්න කෘතීන් කිහිපයක කතුවරයෙකි

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන් / Hitlerta piyawarak idiriyen

විදෙස් භාෂාවකින් ලියැවුණු නිර්මාණාත්මක කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි.

සාර්ථක පරිවර්තනයක් කිරීමට කෘතියක මුල් භාෂාව පමණක් නොව එරට සංස්කෘතිය, සමාජ හා දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද නිවැරදි හැදෑරීමක් මෙන්ම, පරිවර්තනය කරන ස්වදේශීය භාෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා ලිවීමේ අපූරු දක්ෂතාවයක් ද තිබිය යුතුය.

“හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්” කෘතියේ පරිවර්තකයා වන දයා ඩී. ෆොන්සේකා කුසලතා පිරි ලේඛකයෙකි. ඔහු කළ හතළිහකට ආසන්න පර්වර්තන කෘති ඊට සාක්‍ෂි සපයයි.

වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ පුවත්පත්, සඟරා සහ ලේක්හවුස් ආයතනයේදී ලද අත්දැකීම් නිර්මාණාත්මක ලේඛකයකු ලෙස සාර්ථක වන්නට හේතුවක් වෙයි. ඊටත් වඩා ඔහුගේ ලිවීමේ රටාව හැඩගැන්වෙන්නේ ගීත රචකයෙකු ලෙස ඔහු ලබා ඇති සාර්ථකත්වයයි. මිල්ටන් මල්ලවආරච්චි ගයන “දෑස රිදෙනවා පාර බලා ඉඳලා, වික්ටර් රත්නායක ගයන “අමාගඟක් ගලාලා” වැනි ගීත දයා ඩී. ෆොන්සේකාගේ ප්‍රතිභාව පෙන්වන රචනා ය.

දයා ඩී. ෆොන්සේකාගේ අලුත්ම පරිවර්තන කෘතිය ප්‍රෙඩ් ග්‍රෝස්ගේ One Step Ahead of Hitler නමැති මෙම කෘතියයි.

කතුවරයාගේ සරල සුන්දර පරිවර්තනය මෙම වෘත්තාන්තය කියවීමට පාඨකයන්ට සුහද ඇරයුමක් කරයි.

ජයන්ත කළුපහණ – මව්බිම කර්තෘ මණ්ඩලය.

ප්‍රාදේශීය සභා සහ නාගරික සංවර්ධනට අදාළ නීති සහ රෙගුලාසි 2025 / Pradeshiya saba saha nagarika sanwardanayata adala nithi saha regulasi 2025

ප්‍රාදේශීය සභා නම් වු ආයතන තුළින් ජනතාවගේ දෛනික ජීවිතවලට ඉමහත් බලපෑමක් ඇති කරන්නාවූ කර්තව්‍යයන් සිදුකරනු ලැබේ.බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් පැවති පළාත් පාලනආයතන වල ව්‍යුහය (1987) අංක (15) දරන ප්‍රාදේශීය සභා පනත හඳුන්වාදීමෙන් අනතුරුව සෑහෙන දුරකට වෙනස් වූ බව අතිශයෝක්තියක් නොවේ.

දැනට දශක හතරකට ආසන්න කාලයක් මෙම පනත යටතේ දක්වා ඇති බලතල මෙම ආයතන තුළින් ක්‍රියාත්මක කරනු ලබන අතර, විශේෂයෙන් මංමාවත් නඩත්තු කිරීම, ප්‍රයෝජනයට ගැනීම, මහජන සෞඛ්‍යයට අදාළ අත්‍යවශ්‍ය කර්තව්‍යයන්, ජලප්‍රවාහනය, පොදු උපයෝගීතා, වෙළඳ පොළවල් නඩත්තු කිරීම්, වරි පනම් සහ බදු අය කර ගැනීම්යන විෂයයන් රැසක් ඔස්සේ ජන ජීවිතයට සෘජුවම බලපාන්නා වූ අභිමතාර්ථයන් ඉටුකර ගැනීම උදෙසා අවශ්‍ය වන්නා වූ අරමුදල් උත්පාදනය කිරීමටද සුවිශේෂී බලතල රැසක් ප්‍රාදේශීය සභා සතුව ඇත.

මහජනතාව විසින් බොහෝ දුරට මෙම ආයතන දකින්නේ දේශපාලන බලය ක්‍රියාත්මක කරන ආයතන වශයෙනි. මෙය වැරදි සම්මතයක් වන අතර, අවාසනාවට මෙන්ම ප්‍රාදේශීය සභාවන් නියෝජනය කරන්නාවූ ජනතා නියෝජිතයන් රැසකටද ප්‍රාදේශීය සභා පනත් හා රෙගුලාසි සම්බන්ධයෙන් පූර්ණ දැනීමක් නොමැති අතර, ඒ අනුව ප්‍රාදේශීය සභාවකට ඉටුකළ හැකි කර්තව්‍යයන් එකී තත්ත්වයන් යටතේ මනා ලෙස පරිපූර්ණ කිරීමට හැකි නොවන බව පෙනෙන්නට ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ නීතිඥ සුගත් හඳුන්ගේ මහතා විසින් සම්පාදනය කොට ඇති ප්‍රාදේශීය සභාවලට අදාළ නීති සහ රෙගුලාසි ඇතුළත් මෙම සම්පාදනය මා ඉතා අගය කොට සලකමි. විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල නෛතික බලය, බල ශ්‍රේෂ්ත්‍රය හා එම ආයතන ආයතන වල තීරයන් හි නෛතික වලංගුතාවය අධ්‍යායනය කරන ඕනෑම තැනැත්තෙකුට සහ විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම නීතිඥවරුන්ටද මෙම සම්පාදනය අත්වැලක් වනු ඇත.

ප්‍රාදේශීය සභා බලතල ක්‍රියාත්මක කිරීමේදී ඒහා සමගාමීව අදාළ වන නාගරික සංවර්ධන අධිකාරි පනත් යටතේ ඇති ප්‍රතිපාදන වලට ද නීතිඥ සුගත් හඳුන්ගේ මහතා විසින් අවධානය යොමු කර ඇති අතර, එයද අධ්‍යයන කටයුතු උදෙසා අතිහයින් වැදගත් වනු ඇත.

ප්‍රාදේශීය සභා සභිකයකු ලෙස මා ඔහු හඳුනාගන්නේ දිවංගත ලලිත් ඇතුළත් මුදලි මහතාගේ කාර්යාලයේ පැවැති මහපොළ උපාධිධාරී පදනමේ ක්‍රියාකාරිකයෙකුව සිටි අවධියේය. ඔහු එවකට නීති ශිෂ්‍යයෙකි.

නීතිඥ සුගත් හඳුන්ගේ මහතා නීතිය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති නීතිඥවරයෙකු වන අතර තමන් සතු දැනුම නොපැකිළිව බෙදා දීමට ඉදිරිපත් වන අයෙකු වශයෙන් හැඳින්විය හැක.

මෙම සම්පාදනය එළිදැක්වීම සම්බන්ධයෙන් මාගේ සුබ පැතුම් ප්‍රකාශ කරන අතර අනාගතයේදීද මෙවන් ධෛර්ය හා ශක්තිය ලැබේවා යැයි මම එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.

The 5 am Club / ස්වර්ණමය හෝරාව / Swarnamaya horawa

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

සිරස පාද වර්ණනාව | Sirasa Pada Warnanawa

“… මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාර කළේ… එහෙව් එකාව මරා යක්කෙරුව…ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වේ කෙරුවාව…”

“… ඉතිම් ගෑනියේ… පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං මරා යක්කෙරුවාම…”

බළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.

“… බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ… මං සාපකරනව….. එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට…. ගොමම ගොම ගෑවිල යන්ට…

මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු

බින්දුවක් ගාණට තොපිට සාප වෙනව

නුවරකලාවිය කෑඳෑකෝරළයේ ගැමි වෘතාන්ත | Nuwarakalaviya Kadakoralaye Gami Wruthantha

විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවරකලාවියේ උතුරුකරය ගැන කෙරි ඇත්තේ විධිමත් අධ්‍යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ්‍යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය.

විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර්‍යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය.

පූජ්‍ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන්ගේ ප්‍රවීණත්වයට පත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් වී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා තවද නිට්ටඹුව, සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ද ලබා දැනට අ/කෑඳෑ කල්ලන්චිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය දරයි.

උන්වහන්සේ විසින් වසර ගණනාවකදී ලැබූ අත්දැකීම් හා විවිධ අධ්‍යනයන් පරිශීලනය කිරීම ඇසුරෙන් රචනා කරන ලද මෙම ග්‍රන්ථය තුළින් නුවරකලාවියේ කෑඳෑකෝරලයේ ඓතිහාසික ගැමි සංස්කෘතියේ විවිධ පැතිකඩ ඔස්සේ කරන විවරණය අතිශයින් වැදගත් ය.

විසල් නුවරක ආදරය | Visal Nuwaraka Aadaraya

පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිසියේම සියොල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං.
මොකක්ද දැන් ඔයාගෙ හීනේ?
මගේ හීනේ…සල්ලි ගොඩක් හම්බ කරන එක. තව… උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.
ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගන්නට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සලිලි ජාවාරම | Rajya Depala Mankollalla Saha Jathyanthara Kalu Salli Jawarama

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සලිලි ජාවාරම” නමින් මෙම කෘතිය එළිදකින්නේ රාජ්‍ය දේපල මංකොල්ල කෑමේ ප්‍රතිඵලයක් ලෙස අපේ මව්බිම ” ශ්‍රී ලංකාව අන්ත අසරණභාවයට ඇද දමා ඇති මොහොතක ය.

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ රටවල් කීපයකම පාලකයන් එම රටවල බිහි වූ සුදු කරපටි හැදි අපරාධකරුවන් සමඟ එකතු වී සිදුකළ මහා පරිමාණ මංකොල්ලයන් හා ඒවා කළු සල්ලි ලෙස සඟවා ගැනීම පිළිබඳ විස්මය ජනක අනාවරණයන්ගෙනි.

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය තුළ ඊට සමාන ලෙසම සිදුකළ ජාතික දේපොළ මංකොල්ල සහ කළු සල්ලි ජාවාරම් පිළිබඳ හෙළිදරව් ” පච ” ලෙස අවඥාවට ලක්කිරීමට ඇතැමුන් උත්සාහ කරන්නේත් එසේම ඇතැමුන් එම ප්‍රකාශ පිළිගන්නේත් මෙම ජාවාරම් සාමාන්‍ය ජනතාවගේ අත්දැකීම් පරාසයට බොහෝ ඒ පිටින් ක්‍රියාත්මක වන ඒවා වන බැවිනි.

ඒ අනුව මෙම කෘතිය අපේ අත්දැකීම් සීමාවට එපිටින් අපේ රටේ ක්‍රියාත්මක වන දේපල මංකොල්ල සහ කළු සල්ලි ජාවාරම් නිවැරැදිව හඳුනා ගැනීමට අප ඉදිරියේ තබන අන්වීක්ෂයකි.