


ධනවාදය ලෝක ශ්‍රම විභජනයක් හා ලෝක වෙළඳ පොළක් මතු නො ව සත්තකින් ම ලෝක සාහිත්‍යයක් හා කලාවක් ද නිපදවීය. ඒ සමඟ ම මේ ලෝක එකමුතුව ධනවාදය යටතේ තම ප්රතිපක්ෂය සමඟ යෙදී සිටින මාරක අරගලයක් ලෙසින් විනා ග්‍රහණය කළ තො හැකි ය. ම්ලේච්ඡතම මට්ටම් කරා උත්සන්න කරනු ලබන ජාතික පීඩනය, වෙළඳ හා ආයෝජන බිම් සදහා අධිරාජ්‍යවාදීන් අතර සිදු වන කුරිරු තරග හා යුද්ධ, කම්කරු පන්තිය හා ගොවි ජනතාව තම නිෂ්පාදිතයේ ප්‍රතිඵල වලින් බලාත්කාරයෙන් ඈත් කර තැබීම හා අනෙක් අතට පුද්ගලයාගේ නිදහස මෙම සමස්තයෙන් පරිබාහිරය යන මායාව නිපදවීම සරච්චන්ද්‍ර නො දක්නා ඒ අනෙක් පැත්ත යි. මානුෂික අවශ්‍යතාවල, හැකියාව හා රුචිකත්වවල විශ්ව ව්‍යාපී භාවය සාක්ෂාත් වීමට මේ දෙවනු කී සියල්ල බාධකව සිටී. ඒ නිසාම විශ්ව රුචිකත්වය මෙකී භේදයන්ට හා බන්ධනයන්ට එරෙහි අරගලයක් ලෙස මිස වෙනත් ආකාරයකට ග්‍රහණය කළ නො හැකි ය. එසේ නම් මේ යුගයේ සාහිත්‍ය - කලාවන් අගය කිරීමේ මිම්ම බවට පත් වන්නේ මෙම ප්රතිවිරෝධය ජය ගැනීමටත් එමගින් මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමටත් මිනිස් වර්ගයාට පවත්නා උවමනාව හා ඒ සඳහා ඔවුන් ම දරන ප්‍රයත්තය නො වේ ද? මෙලෙසින් ලෝක විප්ලවය මේ සාහිත්‍ය - කලාවන් විචාරය කිරීමේත් ඒවා ම මිනිසා සඳහා උපුටා ගැනීමේත් එක ම මානය බවට පත් නො වන්නේ ද?
Read this book? Sign in to share a review with other readers.