


තම කුසින් වැදූ කුඩා දියණියට යකින්නකටත් වඩා අන්ත පීඩාකාරී ලෙසින් දරුණු වධ හිංසා පමුණුවමින් ඉතා අමානුෂික අයුරින් සැලකූ කෲරත්වය ඉහවහා ගිය මවකගේ ම්ලේච්ඡ පිළිවෙතත්, නිරන්තර වධ බන්ධන නිසා අතිශය පීඩාවට හා කම්පාවට පත් අසරණ දැරියකගේ ශෝකාන්තයත් සියොළඟ ලොමු ඩැහැ ගැන්වෙන ලෙසින් රචිත අනුවේදනීය කතාවයි ‘විරූපා’. සම්මානනීය පරිවර්තක චන්ද්‍රශ්‍රී රණසිංහ විසින් පරිවර්තිත ‘විරූපා’ කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්රීත්වයේ කොතග මිණ වන් පරමෝදර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෲර ගැහැනියකගේ ක්‍රියා කලාපයත්, එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැඟගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවත් ය. ඇදහිය නොහැකි මනඃකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගිය ද, එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්‍ය කතා පුවතකි. සෑම ගැහැනියක විසින්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු Constance Briscoe ගේ UGLY ස්වයංලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනය ‘විරූපා’ ඔබේ පාඨක රුචිය නව මානයකට රැගෙන යන අනුවේදනීය වෘත්තාන්තයකි.
Read this book? Sign in to share a review with other readers.