


"විවරණ සහිත විහාර අස්න හෙවත් නම්පොත" විහාර අස්ත හෙවත් තම්පොත, ලක්දිව සම්භාව්‍ය අධ්‍යාපනය යටතේ බාල වියේදීම වාචෝග්රහණය කරවන සිද්ධස්ථාන 267 කින් සමන්විත නාමාවලියකි. මෙම නාමාවලිය දොළොස්වන සියවසේ ඇරඹී, වරින්වර සම්පාදනය වෙමින් මහනුවර යුගයේදී පරිසමාප්තියට පත්වූහයි සිතීමට කරුණු තිබේ. යථොක්ත සිද්ධස්ථාන ඔස්සේ විචාරශීලීව ගමන් කරන්නකුට මෙරට වැසියන්ගේ සංචරණ ගමන් මාර්ගය, ජනාවාසකරණය, දේශපාලන බල ව්‍යාප්තිය, ආර්ථික තත්ත්වය, ප්‍රාදේශීය සංවර්ධනය සහ ශිල්පකලාවන්ගේ පැතිරීම යනාදිය මැනවින් වටහාගත හැකිය. එමෙන්ම පිටිසර වෙහෙර විහාරයන්හි වැඩසිටින භික්ෂූන්ගේ භූමිකාව ද මෙහිලා කැපී පෙනේ. වැටුපක් නොලබා සම්පූර්ණ දිවිය පුදබිම සහ ගොදුරුගමේ මිනිසුන්ගේ ජීවිත වෙනුවෙකැපකොට ඇති උන්වහන්සේ උපතේ සිට මරණය දක්වා දායකයා අත් නොහරින, මිනිසුන්ගේ විනිසුරුවරයාත්, උපදේශකයාත්, ගුරුවරයාත්, වෙදැදුරුවරයාත්, සෑම මිනිසකු පිළිබඳ හොඳින් දන්නා අධ්‍යාත්මික නායකයාත් වෙති. ඊනියා නූතනත්වය වැළඳගැනීමෙන් මෙකී සියලු වටිනාකම් වේගයෙන් දුරස් වෙමින් තිබේ. එසේ හෙයින් සම්ප්රදාය යැයි කරපින්නා ගෙන ඇති ඇතැම් විකෘති අදහස් පසෙක ලා නවීනත්වයෙන් යුතු අපේ සැබෑ සම්ප්රදාය අවබෝධ කරගැනීමට ද, අතීතකාමයෙන් සහ ජාතික ආගමික සිතුවිලිවලින් අගතිගාමී නොවෙමින්, වර්තමාන ක්‍රමය වඩාත් සුවදායී වනු පිණිස විවෘත මනසකින් නූතන ජීවන අභියෝග ජයගැනීමට ද මෙම විවරණය රත් දොරටුවක් වනු ඇතැයි සිතමු. මෙයින් විදාරණය වන උරුමය සිංහලයාගේ පමණක් නොව සමස්ත මානව වර්ගයාගේම උරුමයක් වශයෙන් ඔබ ඉදිරියේ තබමු. මිනිසුන්ගේ ප්‍රවේණිගත හැකියා ආධ්‍යාත්මික නායකත්වයක් යටතේ කළමනාකරණය මගින් සමස්ත දිවයිනේ ජීවන තත්ත්වය සහ මානව සංවර්ධනය නංවාලිය හැකි අයුරු මෙම විවරණයෙන් පසක් වනු දැකීම අපගේ අභිලාෂයයි. සාහිත්‍ය ගවේෂණයෙන් නොහී අදාළ සිද්ධස්ථාන කිහිප වරක් ස්පර්ශ කිරීමෙන් මෙම විවරණය සිදු කළෙත්, ඔබේ දෙපා මෙම පුදබිම් වෙත යොමුව ඒවායින් විහිදෙන ජීවන දර්ශනයෙන් ශ්‍රී ලාංකේය ජාතිය දර්ශන සම්පන්න වේවා යන්න අපගේ පැතුමයි.
Read this book? Sign in to share a review with other readers.