


"මුතු විසිකිරීම - ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ඡන්දබල ව්‍යාපාරය" මුතු විසිකිරීම - ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හා සම්බන්ද ස්ත්රීන්ගේ ප්‍රථම අරගලය පිළිබඳ විස්තරයකි. සර්වජන ඡන්දබලය පිළිබඳව උණුසුම් වාද විවාද සිදු වූ මෙන්ම ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ස්ත්රීන්ට ඡන්ද අයිතිය ලබාදීම ඌරන් ඉදිරියේ මුතු විසිකිරීමක් හා සමාන යැයි ප්‍රකාශ කරන ලද 1920 දශකය යනු දේශපාලන ප්රබෝධයක් හා සමාජ විපර්යාසයන් සිදු වූ කාල පරිච්ඡේදයකි. ස්ත්‍රී ඡන්දබල සංගමයේ පුරෝගාමී ස්ත්‍රීහු සියලුම ආධානග්රාහින්ට අභියෝග කළ අතර ස්ත්‍රීහු ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය සහ ව්‍යවස්ථාදායකයේ අසුන් ගැනීමේ අයිතිය වැනි ස්ත්රීන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව ඉදිරියට පැමිණියහ. ඩේසි බණ්ඩාරනායක ආර්යාව, වෛද්‍ය නල්ලම්මා සත්‍ය වාගීස්වර අයියර්, ෆ්ලොරින්ඩා විජේකෝන්, ඇග්නස් ද සිල්වා, වෛද්‍ය මේරි රත්නම්, නෙලී ගුණසේකර සහ ලීලාවතී අසරප්පා ඇතුලු සියළුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් උද්යෝගිමත් ස්ත්‍රීහු බොහොමයක් මෙම ව්‍යාපාරයට නායකත්වය දුන්හ. ඔවුන් මුහුණ දුන් විරෝධය විකාරරූපී බවකින් හා නිස්සාරත්වයෙන් යුක්ත වූ අතර එම විවේචන පාලනය කරගැනීමටත් ඒවාට තියුණු පිළිතුරු දීමටත් ප්රතිසංස්කරණවාදීනියන්ට හොඳින් හැකිවිය. සර්වජන ඡන්ද අයිතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ප්රජාතන්ත්රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් යැයි විශ්වාස කළ ලිබරල් හා ප්රගතිශීලී පිරිමින්ගේ සහායද ඔවුන්ට ලැබුණි. 1932 වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්ත්‍රීන් දෙදෙනෙක් විය. ඔවුන් ඇඩලීන් මොලමුරේ සහ තේසුම් සරවනමුත්තු ය. මෙම කෘතිය ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ඉතිහාසය ලේඛනගත කිරීමට වැදගත් එකතු කිරීමක් වනු ඇත. ස්ත්‍රීවාදී ගැටලු පිළිබඳව බෙහෙවින් ලිපි ලේඛන ලියා ඇති මාලතී ද අල්විස් මානව විද්‍යාඥවරියකි. කුමාරි ජයවර්ධන දේශපාලන විද්‍යාඥවරියකි. කම්කරු ව්‍යාපාරය, සමාජ පංති, ජනවාර්ගිකත්වය සහ ස්ත්‍රීවාදය යන ක්ෂේත්රවලට අදාලව ලිපි ලේඛන ප්‍රකාශයට පත් කර ඇත.
Read this book? Sign in to share a review with other readers.