


2023 ස්වර්ණ පුස්තක සම්මානිත නවකතාව. නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්ර වාරිත්ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න. සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.
Read this book? Sign in to share a review with other readers.